• නව වර්ෂය මැතිවරණ වර්ෂයක්,එය ඉලක්ක කර ගෙන ජාතිවාදය ආගම්වාදය වැපිරීමට ඉඩ නොදිය යුතුයි.
  • රටේ ජනතාව ඉල්ලු වෙනස කරන්න, කෑ ගහපු අයට බැරි වුණා.
  • නීතිය යාවත්කාලීන කිරීමට 2024 වර්ෂය තුළ නව පනත් කෙටුම්පත් 60 ක් සම්මත කිරීමට පියවර

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

2024 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරන ලදී.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
අපි රාජ්‍ය සේවකයින් ලෙස සෑම වසරකම ප්‍රතිඥාව දුන්නත්, රාජ්‍ය සේවකයා පිළිබදව පවතින්නේ යහපත් ආකල්පයක් නෙමෙයි. නමුත් අපි අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස සාමුහික ප්‍රයත්නයන් තුළින් රටේ ඇති ආදර්ශමත්ම අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය බවට ජනතාවට ඔප්පු කලා. ඉතිහාසයේ පළමු වතාවට පසුගිය අය වැය විවාදයේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ඇගයීමට අධිකරණ අමාත්‍යාංශය ලක් වුණා. එහි සියලු ගෞරවය නිලධාරීන් ලෙස ඔබට හිමි විය යුතුයි. ලෝකයේ ආර්ථික වශයෙන් කඩා වැටුණු රටවල් දෙස බැලීමේදී මේ තරම් කෙටි කාලයක් තුළ ස්ථාවරත්වයට පැමිණි වෙනත් රටක් නැහැ. මේ රටේ ආර්ථිකය පහළටම කඩා වැටුණා. අපි අද වන විට ආර්ථිකය ගොඩ නගලා නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේ GSP ප්ලස් සහනය ලබා ගැනීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික ලබා ගැනීමට අවශ්‍ය වැදගත්ම නිර්ණායක සම්පුර්ණ කිරීමේ වගකීම ඉටු කලේ අධිකරණ අමාත්‍යාංශයයි. බිද වැටුණු ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යය ස්ථාවර කිරීම සදහා පසුගිය වසර එක හමාරක කාලය තුළ අපි කටයුතු කළා.

2024 වර්ෂය තුළ නව පනත් කෙටුම්පත් 60 ක් සම්මත කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන තිබෙනවා. මේ රටට අවශ්‍ය වෙනස හා මිනිස්සු ඉල්ලු වෙනස කරන්න කෑ ගැහුව අයට බැරි වුණා. නමුත් නිශ්ශබ්දව අපි එය කළා, කළ යුතු වෙනස්කම් මොනවාද කියලා හදුනාගන්නවත් ඒ අයට බැරි වුණා.

නිදහසින් පසුව මේ රටේ සිදු කළ ව්‍යවස්ථා විප්ලවය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. රාජ්‍ය සේවය තුළ වන දුෂණය වළක්වන්න ප්‍රසම්පාදන කොමිෂම හා විගණන කොමිෂන් සභාව ස්ථාපිත කළා. දුෂණය නැති කරන්න ඕන කියලා වසර තිහක් පුරාවට විවිධ අදහස් අය පළ කලා. නමුත් දුෂණ විරෝධි පනත ගෙන එන්න බැරි වුණා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් විරුද්ධ වෙද්දි අපි ප්‍රගතිශීලි පනත් කෙටුම්පත් සම්මත කළා. ඒ සදහා මාධ්‍ය ආයතන ලබා දුන්න සහයෝගය අගය කළ යුතුයි. සියලු දෙනාගේ සහයෝගයෙන් වෙනස කරන්න ඕන කිවුව මිනිස්සුන්ට බැරි වු වෙනස අපි කළා. භාෂාමය, ආගමික, ජන වාර්ගික වශයෙන් බෙදී ක්‍රියා කළහොත් රටක් ලෙස බලාපොරොත්තු වන ඉලක්කවලට යන්න බැහැ. 2024 වසරේ මුල් සතිය තුළ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. 2024 වර්ෂය කියන්නේ මැතිවරණ වර්ෂයක් බව අපි දන්නවා. ආත්මාර්ථකාමී, අවස්ථාවාදී දේශපාලඥයින්ට ඉදිරි කුමන ආකාරයේ මැතිවරණයක් පැමිණියත් ජාතිවාදය ආගම්වාදය භාෂා භේදය ඇති කිරීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ජාතික සමගිය ස්ථාවර කර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ නීතියේ ආධිපත්‍යය ඇති කරමින් සාමකාමී දේශයක් නිර්හමාණය කිරීමේ වගකීම අපි භාර ගත යුතු බවද අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ, හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම් එම්.එන්.රණසිංහ යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළහ.

jan 1st moj img1 jan 1st moj img 2